Thursday, August 24, 2017

සිදත්සඟරාවෙහි භාවිත පාරිභාෂික පද

අනුරාධපුර හා පොළොන්නරු යුගවල දියුණු සාහිත්‍යයක් පැවතිය ද එවක භාවිත වූ වියරණ ග්‍රන්ථයක් හමු නොවෙයි. ඒ හේතුවෙන් දැනට විද්‍යමාන පැරණි ම සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය ලෙස සිදත්සඟරාව සැළකිය හැකියි.
“භාෂාවට පදනම් වන නීතිරීති මාලාව යන අර්ථය ප්‍රකාශ කරන පාරිභාෂික පදයක් ලෙස ව්‍යාකරණය” යන්නෙන් විග්‍රහ කෙරෙයි.
                 (ජයතිලක 1995:09)

අද වනවිට ඊට වැඩි නියාමක බලයක් ව්‍යාකරණය යන්නෙන් අපේක්‍ෂා කෙරේ. අලුත් දෙයක් ලොවට දෙන ලේඛකයා තුළ සම්ප්‍රදායික ව්‍යාකරණ ඥානය ශික්‍ෂණයක් හැටියට චිත්ත චෛතසිකගතව පැවතිය යුතු නමුත් එයට ඔහුගේ නිදහස් ප්‍රකාශනය පාලනය කිරීමට ඉඩ නොතැබිය යුතුය. සිරගතවීම හෝ වල්මත්වීම යන දෙකෙන් ම තොරව ලියවුණු ව්‍යාකරණ ග්‍රන්ථයක් ලෙස සිදත්සඟරාව සැළකේ. එහි කතුවරයා කවරෙක් ද යන්න පිළීබඳව විවිධ විචාරාත්මක මත පළ වේ.

·         අයෙක් අනවමදර්ශී මාහිමියන්යැ’යි පවසති.
·         කෙනෙක් පතිරාජ පිරුවන්පති වේදේහ හිමි  බව පවසති.

සිදත්කරු පිළිබඳව පොතේ එන නිවැරදි ම එක් කරුණක් නම්  ඔහු පතිරාජ පිරුවන්පති බව පොතෙහි ස්ථාන දෙකකදී ම පැවසීම යි.
“දෙනෙ දැනැ මෙසිදත පතිරජ පිරුවන”
                        (විභක්ති අධිකාරය අවසානයෙහි)

“පතිරජ පිරුවනගෙ සිදත”
                        ( ග්‍රන්ථාවසානයෙහි)

සිදත්සඟරාව කරන ලද්දේ ප්‍රතිරාජ දේව නැමති ඇමතිවරයෙකුගේ ආරාධනාවෙනි. ඒ බව ග්‍රන්ථාවසානයෙහි දැක්වේ.

“දෙදෙ’ව් රදලගම් විමන’ගැ
පතිරජ දෙව් සැර දෙනේ”

සිදත්කරු පාලි,සංස්කෘත හා දෙමළ භාෂාවන්ගෙන් ආභාසයක් ලබමින් හැකිතාක් දුරට දේශීයත්වය හා ස්වාධීනත්වය ආරක්‍ෂා වන පරිදි ස්වකීය කෘතිය සම්පාදනයට වෙර දරා ඇත. ඔහු වැඩියෙන් ම ඇසුරු කර ඇත්තේ පොළොන්නරු යුගයේ දී දීඹුලාගල ආරණ්‍යය සේනාසනයෙහි විසූ මොග්ගල්ලාන හිමියන් කළ පාලි ව්‍යාකරණය බව කෝදාගොඩ ඥානාලෝක හිමියන් ප්‍රකාශ කරයි.
(ඥානාලෝක හිමි 1971:56
සිදත්සඟරාවේ ව්‍යාකරණාංග හැඳින්වීමේ පාරිභාෂික පද නිපදවීමේ දී බොහෝවිට පාලි හෝ සංස්කෘත පද ඇසුරෙන් සකසාගත් තත්භව පදත්, දෙමළ බසින් ඍජුව ම පරිවර්තනය කරගත් පදත් භාවිත කර ඇත.
පාරිභාෂික පදයක් යනු “විශේෂිත සන්දර්භයක් තුළ නිශ්චිත අර්ථකථන ලබා දී ඇති සංකීර්ණ වචන හෝ බහු අර්ථ සහිත ප්‍රකාශයන්ය.”
 ( විකිපීඩියා)

සන්දර්භය තුළ භාවිත විශේෂිත කොන්දේසි සහ ඒවායෙහි අන්තර් සම්බන්ධතාවයන් අධ්‍යයනය කිරීමෙන් පසු පාරිභාෂික පද නිර්මාණය කරගනු ලබයි. ඉංග්‍රීසි භාෂාවෙන් පාරිභාෂික පද යන්නට “Terminology” යන පර්යාය පදය භාවිත වේ. එදිනෙදා  ජිවිතයේ දී භාවිත භාෂාවෙන් දුරස්ථ වූ පාරිභාෂික පද විවිධ විෂයන් අනුව යෙදෙන සංකල්පයන්හි අර්ථ අධ්‍යයනයට භාවිත කරයි.

නිරුක්ති සහිත සිංහල ශබ්දකෝෂය දක්වන පරිදි පාරිභාෂික පදයක් යනු “යම් ශිල්පයක් සඳහා වූ විශේෂ අර්ථයක් දක්වන වචනයකි.”
(ලියනගේ 2000:328)

පාරිභාෂික පද යන්නට ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය දෙන අර්ථ අතර වනුයේ “වෛඥානික වචන, විඥානවලට අයත් ශබ්ද, පරිභාෂාව පිළිබඳ වූ පද” යන්නයි.
(විජයතුංග 1994:248)

සිදත්සඟරාවේ එන ව්‍යාකරණාංග හැඳින්වීමේ පාරිභාෂික පද නිපදවීම සඳහා දෙමළ ව්‍යාකරණ කෘතියක් වූ වීරසෝළියම් ග්‍රන්ථය ඇසුරු කර ඇත. “සිංහල භාෂාවේ ස්වර හැඳින්වීමට සිදත්සඟරා කතුවරයා  වීරසෝළියම් කෘතියේ මෙන්ම සෙසු දෙමළ ව්‍යාකරණ කෘතිවල දැක්වෙන පරිදි පණකුරු හෙවත් ප්‍රාණාක්ෂර යන්නත් ව්‍යංජන හැඳින්වීමට ගතකුරු හෙවත් ගාත්‍රාක්‍ෂර යන්නත් භාවිත කර ඇත.”

(ජයසිංහ 2013:34)
උයිරෙළුත්තු - පණකුරු (ජිවාක්ෂර)
මෙය්යෙළුත්තු - ගතකුරු (ශරීරාක්ෂර)

එමෙන් ම සිදත්සඟරා කතුවරයා එක ම දෙය විවිධ තැන්වල විවිධ නම්වලින් හැඳින් වූ අවස්ථාවන් ද හමුවේ. ග්‍රන්ථාරම්භයේ දී ස්වර අක්‍ෂර ප්‍රාණාක්ෂර නමින් හදුන්වන කතුවරයා විපර්යාස විධිය විස්තර කිරීමේ දී ස්වර විපර්යාසය පිලිපෙරැළි ලෙස නම් කරයි.

“ව්‍යඤ්ජනාරූඪ ස්වර සංකේත සඳහා පිලි යන වචනය වර්තමාන ව්‍යවහාරයේ පවතින නමුත් මෙහි දී ස්වර අක්‍ෂර සඳහා පිලි යන්න භාවිත කිරීම සාවද්‍යය. එහෙයින් ස්වර විපර්යාසයේ දී සිදුවන ස්වරාදේශය සඳහා පිලි පෙරළි යන නාමය වෙනුවට පණකුරු පෙරළි හෝ සර පෙරළි යන නාමය යෙදීම වඩාත් සුදුසුය.”   
(පඤ්ඤාසාර හිමි 2004:41)

ව්‍යාකරණයේ දී ස්වර ව්‍යඤ්ජන දෙකම වර්ණ යන පොදු නාමයෙන් හදුන්වයි. නමුත් සිදත්සඟරා කතුවරයා වචනයක ඇති ව්‍යඤ්ජනාක්ෂරවල ස්ථාන මාරුව වණ පෙරළි නමින් හඳුන්වයි. මෙහි දී වණ හෙවත් වර්ණ යනුවෙන් අදහස් කොට ඇත්තේ ව්‍යඤ්ජනාක්ෂර පිළිබඳව බව පැහැදිලිය. ග්‍රන්ථාරම්භයේ දී සිදත්සඟරාකරු ව්‍යඤ්ජනාක්ෂර ගතකුරු නමින් හදුන්වා මෙහි දී ව්‍යඤ්ජනාක්ෂර සඳහා වණ යන්නෙන් භාවිත කිරීම යෝග්‍ය නොවේ.

“ස්වරයකට වෙනත් ස්වරයක් ආදේශ වීම පිලිපෙරැළි නමින් හැඳින් වූ කතුවරයා වචනයක් තුළ ඇති ව්‍යඤ්ජනාක්ෂරවල ස්ථාන මාරුව වණ පෙරළි නමින් හදුන්වා ඇත. එහෙයින් පිලිපෙරැළි හා වණ පෙරළිවල දී සිදුවන දෙයාකාර ස්වරූපය පෙරළි යන පොදු නාමයකින් හැඳින්වීම ද යුක්ති නොවෙයි.  කෙසේ වුව ද වණ පෙරළි යන නම ව්‍යවහාර නොකොට ගතකුරු පෙරළි හෝ වියදුන් පෙරළි යන නම් භාවිත කළේ නම් තරමක් දුරට හෝ නිවැරදි වන්නට ඉඩ තිබිණි.”
(පඤ්ඤාසාර හිමි 2004:42)

දහතුන් වන සියවසෙහි රචනා වූ ව්‍යාකරණ කෘතියක් වර්තමාන දත්ත පදනම් කොට ගෙන විමසීම හෝ කර්තෘගේ අරමුණ නොසලකා විවේචක දෘෂ්ටියෙන් විග්‍රහ කිරීමට යාමෙන් කෘතියෙහි ඓතිහාසික වැදගත්කම යටපත් වේ. කවර දුබලතා පැවතිය ද දඹදෙණි යුගයෙහි සිට වර්තමානය තෙක් සිංහලයාගේ ව්‍යාකරණ අවශ්‍යතාව ඉටු කිරීමට සිදත්සඟරාව සමත් වූ බව ප්‍රත්‍යක්ෂ කරුණකි. සිදත්කරු තම ව්‍යාකරණ ග්‍රන්ථය සම්පාදනයේ දී හැසිර වූ වාග් කෝෂයෙහි අන්තර්ගත පාරිභාෂික පද පෙළක් මෙහි දී අවධානයට ලක් කෙරෙයි.





      1.       
අකම්
අකර්මක
2.       
අගම්
ආගමය
3.       
අඩු
හානිය
4.       
අදරද
ආධාර
5.       
අදියර
අධිකාරය
6.       
අනියම්
අනිත්‍ය විධි
7.       
අනුරුත්
අන්වර්ථ
8.       
අන් අරුත්
අන්‍යාර්ථ
9.       
අරුණු
ආරූඪ
10.   
අරුතු
අර්ථ
11.   
අලපෝ
ආලපන
      12.   
අවදි
අවධි
13.   
අවිදුමන්
අවිද්‍යමාන
14.   
අවිය
අව්‍යය
15.   
අසබහව්
අසම්භාව්‍ය
16.   
ආසි
ආශිර්වාද
17.   
ඉතිරි
ස්ත්‍රී
18.   
උපසග
උපසර්ග
19.   
එක බසැ
ඒක වචන
20.   
කතු
කර්තෘ
21.   
කම්
කර්ම
22.   
කිරිය
ක්‍රියාව
23.   
කිරිය කරු
ක්‍රියා කාරක
24.   
ගතකුරු
ගාත්‍රාක්ෂර
25.   
ගතදෙස්
ගාත්‍රාදේශ
26.   
ගුණ
ගුණනාම
27.   
තබව
තත්භව
28.   
තසම
තත්සම
29.   
ද අරුත් සමස්
දකාරාර්ථ සමාසය
30.   
දයින්
ධාතුවෙන්
31.   
දා පියවි
ධාතු ප්‍රකෘති 
32.   
දා මුව
ධාතුමය
33.   
දැව්
ද්‍රව්‍ය නාම
34.   
දෑ
ජාති නාම
35.   
දෙරූ සඳ
ද්විරූප සන්ධිය
36.   
නමින්
නාමයෙන්
37.   
නිදරණ
නිර්ධාරණ
38.   
නිපන්
නිෂ්පන්න
39.   
නිපා
නිපාත
40.   
නියම්
නිත්‍ය විධි
41.   
පණකුරු
ප්‍රාණාක්ෂර
42.   
පණන්
ප්‍රාණීන්
43.   
පරසර
පරස්වරය
44.   
පස
ප්‍රත්‍ය
45.   
පස් බේ
පඤ්චවිධ භේදය
46.   
පියදු කිරිය
ප්‍රයෝජ්‍ය ක්‍රියාව
47.   
පියවි
ප්‍රකෘති
48.   
පිලි පෙරළි
ස්වර විපර්යාසය
49.   
පුම
පුරුෂ
50.   
පෙරරූ
පූර්ව රූපය
51.   
බහුකම්
බහුකර්මක
52.   
බුහු බසැ
බහු වචන
53.   
මත්
මාත්‍රා
54.   
මුසු කිරිය
මිශ්‍ර ක්‍රියාව
55.   
ලිඟු
ලිංග
56.   
ලුහු
හ්‍රස්ව
57.   
ලොප
ලෝපය
58.   
වණ පෙරළි
ව්‍යඤ්ජන විපර්යාසය  
59.   
වණන්
අකුරු
60.   
වහරන්
ව්‍යවහාර
61.   
වැඩි
වෘද්ධිය
62.   
විදිකිරිය
විධික්‍රියව
63.   
විනිස
විනිශ්ච
      64.   
විබත්
විභක්ති
65.   
වුත් අවුත් අදියර
උක්තානුක්තාධිකාරය
66.   
වෙසෙසුන්
විශේෂණ
67.   
සකම්
සකර්මක
68.   
සකු සත්
සංස්කෘත ශාස්ත්‍රය
69.   
සන්
සංඥා
70.   
සඳ
සන්ධි
71.   
සපදන්
සම්ප්‍රදාන
72.   
සබඳ
සම්බන්ධ
73.   
සමස්
සමාස
74.   
සර අත්
ස්වරාන්ත
75.   
සර දෙස්
ස්වරාදේශ
76.   
හකර
හකාර විනිශ්චය
77.   
හලත්
හලන්ත
78.   
හව්කිරිය
භාව ක්‍රියා

සිදතෙහි භාවිත පාරිභාෂික පද අතරින් විශේෂයෙන් තෝරාගත් වචන මාලාවක් මෙම ලිපියට ඇතුළත් කළ බවත් මීට අමතරව තවත් පාරිභාෂික ශබ්ද සිදත්සඟරාව අධ්‍යයනයෙන් විමසා දත හැකි බවත් මෙහි දී අවධාරණය කළ යුතුය. හෙළයට නවාගමනයක් වූ මෙම ව්‍යාකරණය සකස් කීරීම සඳහා සිදත්කරු මුළුමනින් ම අනුගමනය කර ඇත්තේ විශේෂයෙන් පාලි ව්‍යාකරණයත්, අවශේෂයෙන් සංස්කෘත හා දෙමළ ව්‍යාකරණයනුත්ය. ඒ කිසිවකට අයත් නොවූ ඇතැම් රීතීන් සිදතට ගොනු කරනුයේ දේශීය බසෙහි විද්‍යමාන වූ නිසා බව පැහැදිලිය.
 “ සද’රුත් විදි සියල්     - අනුරූ සේ පියෝනන්
  ඉති සන් සඳ සමස් ඈ - වහරනු සෙරෙන් සපයා
   මෙ සබද සිදත් පිරියත් හිම්.”
 “ශබ්ද අර්ථ ක්‍රම සියල්ල නොයෙකුත් ජේක ප්‍රයෝගයන්ට අනුරූප වේ. මෙසේ සංඥා, සන්ධි, සමාස ආදිය ව්‍යවහාරානු සාරයෙන් සම්පාදනය කරවු.”
(ජයතිලක 1995:39)

සිදතෙහි උසස් ම ස්වාධීන ලක්‍ෂණය වනුයේ ව්‍යවහාරයෙහි ඇති වැදගත්කම පුන පුනා පැවසීමය. සිදත්සඟරාව පද්‍යකරණයෙහි නියුක්ත ආධුනිකයනට ව්‍යාකරණය පිළිබඳ උපදෙස් සපයන කෘතියක් ලෙස සැළකෙනමුත් එය පූර්ණ හෝ ස්වාධීන ව්‍යාකරණ ග්‍රන්ථයක් නොවන බව පැහැදිලිය. එනමුත් සිදත්සඟරා කතුවරයා සතුව පැවති භාෂාන්තර ඥානය, ව්‍යාකරණය පිළිබඳ අවබෝධය හා චින්තන ශක්තිය ප්‍රශංසාර්භය. සිංහල පාරිභාෂික පද සකසා ගැනීම සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණ වනුයේ අදටත් අප ව්‍යාකරණය සම්බන්ධයෙන් ව්‍යවහාර කරනු ලබන බොහෝ පද සිදත අනුව සකසා ගත් ඒවා වීමය. 

මුලාශ්‍රයය:-
·         ජයතිලක කේ (1995), “විමර්ශන සහිත සිදත්සඟරාව”, කොළඹ 12 , ප්‍රදීප ප්‍රකාශකයෝ

·         ජයසිංහ ධම්මික (2013), “සිදත්සඟරාව සහ වීරසෝළියම් ව්‍යාකරණයෙහි ව්‍යාකරණාංග හැඳින්වීම සඳහා උපයුක්ත පාරිභාෂික පද පිළිබඳ තුලනාත්මක අධ්‍යනයක්”(තෝරාගත් පද ඇසුරෙන්), නුගේගොඩ, සරසවි ප්‍රකාශකයෝ


·         ඥානාලෝක හිමි කෝදාගොඩ (1971), “සිදත්සඟරා පුරාණ සන්නය සහ සිද්ධාන්ත ප්‍රදීපය”, කොළඹ 10, අනුල මුද්‍රණාලය

·         පඤ්ඤාසාර හිමි ඔක්කම්පිටියේ (2004), “සිදත්සඟරා විමසුම”, කර්තෘ ප්‍රකාශන


·         පේමානන්ද හිමි පෙනලබොඩ (2002), “සිංහල භාෂාවේ පරිණාමය හා සිදත්සඟරාව”, මරදාන, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

·         ලියනගේ සිරි (2000), “නිරුක්ති සහිත සිංහල ශබ්දකෝෂය”, කොළඹ 10, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ



·         විජයතුංග හරිස්චන්ද්‍ර (1984), “ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය” ii වැනි කාණ්ඩය, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය