ලොව කුමන රටක හෝ
සංස්කෘතියක ඓතිහාසිකමය වශයෙන් වූ සැබෑ තතු සහ භාෂා ශ්‍රාස්ත්‍රීය කරුණු අනාවරණය කර
ගැනීමෙහිලා ප්‍රාමාණික වන ප්‍රධානතම මුලාශ්‍රයක් ලෙස ශිලා ලේඛන හඳුනා ගැනෙනවා. “ලිවීම
සඳහාම සකස් කළ ගලක සටහන් කළ ලියවිල්ල ශිලා ලේඛන හෙවත් සෙල්ලිපි” (සංස්කෘතික කටයුතු
දෙපාර්තමේන්තුව) යනුවෙන් නම් කරනවා. එමෙන් ම ලිවීම සඳහා විශේෂයෙන්
සකස් නොකළ ස්ථානයක ලිවීම සහ ගලක් නොවන
තැනක(මැටි පුවරු, කාසි, තඹ පත්, රන් පත්, ගඩොල්,පිත්තල බඳුන්) ලියා තබන ලේඛන
අභිලේඛන ලෙස හඳුන්වනවා. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර විශ්වසනීයත්වයෙන් ඉහළ
ස්ථානයක් ශිලා ලේඛනවලට හිමි වෙනවා. සෙල්ලිපිවල බාහිර
ස්වරූපය අනුව ප්‍රධාන වර්ග හතරකට බෙදා දැක්විය හැකියි.
1.
ලෙන්ලිපි
2.
ගිරිලිපි
3.
ටැම්ලිපි
4.
පුවරුලිපි
5.
වෙනත්
ලාංකේය සෙල්ලිපි ලිවීමේ
කලාව ආරම්භ වෙන්නේ මහින්දාගමනයත්
සමඟ බව පිළිගැනෙනවා. ඊට පෙරත් අප සතුව අක්ෂර කලාවක් නොතිබුනායැ’යි කිව නොහැකියි.
නමුත් ක්‍රමවත් අක්ෂර කලාවක් අපට ලැබුණේ මහින්දාගමනයෙන් පසුව බව දැනට අප සතුව ඇති
පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව සනාථ වෙනවා .
මුල්කාලීන ශිලා ලේඛන
රචනා වූ භාෂාව ප්රාකෘත සිංහල නමින් හඳුන්වනවා.
“ශිලා ලිපිවල භාෂාව ආදිම
සිංහලය හෝ මූල සිංහලයි.සමහර උගත්තු මෙයට සිංහල ප්රාකෘතයැ’යි කියති. ක්‍රි.පූ. 3වන
සියවසේ සෙල්ලිපි අශෝක ලිපිවල අක්ෂරවලට සමාන වුවද එහි භාෂාව අපට ආවේණික රටාවකින්
නිර්මාණය කර ගත්තකි.”
(කරුණාරත්න 1956:38)
සිංහල අක්ෂර සම්භවය හා
භාවිතය පිළිබඳව දක්වන ලද අදහස් විවාදාපන්නයි. නමුත් ඊට අදාළ පැහැදිලි සහ ස්ථිර
සාධක ක්‍රි.පූ.3වන සියවසෙන් පසුව හමුවෙනවා.මහිදාගමනයෙන් පසුව භාරතීය ආභාසය ලක්දිව
භාෂාව හා අක්ෂර රටාවන් නිර්මාණය වීම කෙරෙහි ඍජුවම බලපෑම් ඇති කරයි. ඊට කදිම
සාක්ෂ්‍යයක් ලෙස සෙල්ලිපි රචනා වූ බ්රාහ්මීය අක්ෂරයන්හි භාවිතය අධ්‍යනයට ගත
හැකියි.
බ්රාහ්මී අක්ෂර කලාව
දඹදිව ඇති වී පැතිර ගිය කලාවක්. මේවා බ්රාහ්මී ශිලා ලේඛන ලෙස හැඳින්වුව ද එය
ලේඛනයෙහි අක්ෂර නම් කිරීමක් මිස ශිලා ලේඛනය නම් කිරීමක් නොවෙයි. මුලින් ම අක්ෂර
නිර්මාණය කළේ මහා බ්‍රහ්මයා නිසා මෙම අක්ෂර බ්රාහ්මී අකුරු ලෙස හැඳින් වූ බව එක මතයක් . සාමාන්‍යයෙන් පුරාවිද්‍යාත්මක
සාධකවලට අනුව මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරයන්හි චිත්රාක්ෂර ඇසුරෙන් බ්රාහ්මී
අක්ෂර කලාව ඇරඹි බව පිළිගැනෙනවා. කෙසේ නමුත් සියවස් කිහිපයක සිටම ක්‍රමිකව
විකාශනය වෙමින් පැමිණි බ්රාහ්මීය අක්ෂර කලාව අශෝක අධිරාජ්‍යයාගේ සමයේ දී සමස්ත
ඉන්දියාව පුරාම ප්‍රචලිත වුණා.
ඒ අනුව ක්‍රි.පූ. 3වන
සියවසේ දී හමුවන අශෝක අධිරාජ්‍යයාගේ සෙල්ලිපිවල අන්තර්ගත බ්රාහ්මී අක්ෂර
අශෝකාක්ෂර නමින් ව්‍යවහාර වුණා. නාගරිගුප්ත, ලාට, දෙමළ, මලයාලම්, ආන්ද්‍ර, වංග,
හින්දි, උර්දු, මහාරාෂ්ට්‍ර, බුරුම, ඔරිස්සා, සිංහල ආදී අක්ෂර ද බ්රාහ්මී අක්ෂර
වෙනස්ව ගොස් නිර්මාණය වී ඇත. මේ අනුව ආසියාතික රටවල බොහෝ අක්ෂර මාලා නිර්මාණය වීම
කෙරෙහි බ්රාහ්මීය අක්ෂර කලාව හේතු පාදක වූ බව ප්රත්යක්ෂ වෙනවා. භාරතීය අශෝකාක්ෂරයන්ට
ලාංකේය ශිලා ලේඛනවල අක්ෂර රූප බොහෝ දුරට සාම්‍යයත්වයක් දක්වන බව සෙල්ලිපි පිළිබඳ
තුලනාත්මක අධ්‍යනයන්ගෙන් හෙළිවන ප්‍රකට කරුණකි. නමුත් ඒ අතරේ අක්ෂර භාවිතයන්හි
විවිධත්වයක් හා ස්වාධීනතත්වයන් ද පවතින බව අවධානයට ගත යුතුයි. එබැවින් අශෝකාක්ෂර
සමඟ සැසඳීමේ දී ලාංකේය ශිලා ලේඛනවල බ්රාහ්මීය අක්ෂර භාවිතයේ සුවිශේෂතා විමසා
බැලීමට මෙහිදී අපේක්ෂා කරනවා.
1. එකිනෙකට සමාන අක්ෂර රූප
භාවිතය
I.ඍජු ලම්බක රේඛාවක පතුලට කෙටි
තිරස් රේඛාවක් දකුණට සම්බන්ධ කර ලියනු ලබන “උ” අක්ෂරය
II.ඍජු රේඛාවක පහළින් හා
ඉහළින් දකුණු පසට දික්වන රේඛා දෙකක් මධ්‍ය ලක්ෂයේදී එකතු කර ලියනු ලබන “එ” අක්ෂරය
III.ලම්භක රේඛාවක ඉහළින් වම්
පසටත් පහළින් දකුණු පසටත් කෙටි රේඛා දෙකක් සම්බන්ධ කර ලියන “ඔ” අක්ෂරය
IV. ඍජු රේඛා දෙකක් එකිනෙක
කැපීයන පරිදි ලියනු ලබන “ක” අක්ෂරය
V.
වෘත්තයක් හරි මැදින්
දෙකට බෙදී යන පරිදි සම්බන්ධ කරන ලද ලම්බක රේඛාවක් යෙදීමෙන් ලියනු ලබන “ඡ” අක්ෂරය
VI.
දකුණු දෙසට විවෘත වූ
අර්ධ වෘත්තයක් මත තවත් අර්ධ වෘත්තයක් තැබීමෙන් සාදාගත් “ජ” අක්ෂරය
VII.
දකුණු පසට විවෘත වූ අර්ධ
වෘත්තයක හැඩය ගත් “ට” අක්ෂරය
VIII.
වෘත්තයක ස්වරූපය ගත් “ඨ”
අක්ෂරය
IX.
තිරස් රේඛාවක දකුණු
පසින් ඉහළටත් වම් පසින් පහළටත් රේඛා දෙකක්
සම්බන්ධ කර ලියනු ලබන “ඩ” අක්ෂරය
X.
ලම්බක රේඛාවක ඉහළින් හා
පහළින් සමාන්තර රේඛා දෙකක් යෙදීමෙන් ලියනු ලබන “ණ” අක්ෂරය
XI.
මධ්‍යයේ තිතක් සහිත වෘත්තාකාර
ස්වරූපය ගත් “ථ” අක්ෂරය
XII.
ලම්බක රේඛාවට දකුණු
පසින් සම්බන්ධ කරන ලද අර්ධ වෘත්තයක් සහිත “ධ” අක්ෂරය
XIII.
ලම්බක රේඛාවට පහළ කෙළවරට
තිරස් රේඛාවක් සම්බන්ධ කිරීමෙන් ලියන ලද “න” අක්ෂරය
XIV.
සමචතුරස්‍රාකාර හැඩයෙන්
යුක්ත “බ” අක්ෂරය
XV.
කුඩා වෘත්තයක් මත කෙටි ලම්බකාර
රේඛාවක් ඇදීමෙන් සකස් කරගත් “ව” අක්ෂරය
2. සුවිශේෂී වෙනස්කම් සහිත
අක්ෂර රූප භාවිතය
2.1 අශෝක බ්රාහ්මී අක්ෂර
මාලාවේ “අ” අක්ෂරයේ ප්‍රධාන රූප තුනකි.
I.
ඍජු ලම්බක රේඛාවකට
වම්පසින් වක්රාකාර රේඛා දෙකක් එක් ස්ථානයකදී මුණගැසීමෙන් සාදාගත් අක්ෂර රූපය
බහුලව දක්නට ලැබෙනවා.
II.
ඍජු ලම්බක රේඛාවක
වම්පසින් ඍජු කෙටි ඉරි දෙකක් එක් ස්ථානයක දී මුණගැසීමෙන් දෙවන රූපය සෑදෙයි.
III.
ඉහත සඳහන් වක්රාකාර හා
කෝණාකාර ක්‍රම දෙක සම්මිශ්‍රණය කිරීමෙන් තෙවන රූපය නිමවයි.
ලංකාවේ “අ” අක්ෂරයෙහි හැඩය බොහෝ දුරට අශෝකාක්ෂරවලට සමාන
වුවත් එහි විශේෂත්වයක් පවතී. අශෝක “අ” අක්ෂරයේ වම්පස වක්‍ර රේඛා දෙක එකම ස්ථානයක
දී දකුණුපස ඇති ලම්බක රේඛාවට මුණගැසුණත් ලංකාවේ බ්රාහ්මී අක්ෂරවල ස්ථාන දෙකක දී මුණ
ගැසෙනවා.
එමෙන් ම අශෝක අක්ෂර මාලාවේ කෝණාකාර “අ” අක්ෂරය වෙනුවට ලංකාවේ
බ්රාහ්මී ලිපිවල ඍජුකෝණි ස්වරූපයේ අක්ෂර දක්නට ලැබෙනවා. එහිද වම්පස ඍජු කෝණාකාර
රේඛා දෙක දකුණුපස ලම්බක රේඛාවට සම්බන්ධ වන්නේ ස්ථාන දෙකකදි යි.
2.2 අශෝක බ්රාහ්මී අක්ෂර
මාලාවේ “භ” අක්ෂරය තිරස් රේඛාවක දකුණු පස කෙළවරින් ඉහළට කෙටි රේඛාවක්ද, වම්පස
කෙළවරින් හා මධ්‍යයෙන් පහළට කෙටි සමාන්තර රේඛා දෙකක් ද සම්බන්ධ කිරීමෙන් සකස් කර
ගැනෙනවා.
එමෙන් ම ලම්බක රේඛාවකට වම්පසට යෙදුණු තිරස් රේඛාව නැවත
පහළට දික්කර සාදාගත් “භ” අක්ෂරයක් ද හමුවෙයි. මෙහි වක්රාකාර ස්රූපයගත් “භ” අක්ෂරයකි
ලංකාවෙන් හමුවනුයේ. එමෙන්ම ඉහත ස්වරූප දෙකටම වෙනස් වක්රාකාර හැඩය ඇති සුවිශේෂී
“භ” අක්ෂරයක් ද ලංකාවේ ශිලා ලේඛන අතර දැකගත හැකියි.
2.3 අශෝකාක්ෂරවල යෙදෙන “ළ”
අක්ෂරය සම්බන්ධයෙන් විවිධ මත පවතිනවා. එය “ඩ” අක්ෂරයේ පහළ කෙළවරට තිතක් යෙදීමෙන්
සාදාගෙන තියෙනවා. ලංකාවේ සෙල්ලිපිවලින් හමුවන “ළ” ඊට සපුරා වෙනස් ස්වරූපයක් ගන්නවා.
එය නුතන “ද” අක්ෂරයේ හැඩයට සමානයි.
3.
අශෝකාක්ෂරවල ජනප්‍රිය
අක්ෂර රූපයට වඩා ලංකාවේ විරල අක්ෂර රූප
භාවිතය
3.1 අශෝක බ්රාහ්මී අක්ෂර
මාලාවේ යෙදෙන මහාප්‍රාණ “ඝ” අක්ෂරය වක්රාකාර ස්වරූපයෙන් යුක්තයි. වම්පස වක්රාකාර
රේඛාව දකුණුපස රේඛාවට වඩා මඳක් උසින් වැඩි
අතර වක්‍රය මැද්දෙහි සිරස් අතට කෙටි ඉරක් දක්නට ලැබෙනවා. ඇතැම් ස්ථානයන්හි මෙහි
කෝණාකාර ස්වරූපයේ අක්ෂරයක් දක්නට ඇතත් එය දුර්ලභ වෙනවා.
ලංකාවේ ශිලා ලේඛනවල නිරූපිත “ඝ” අක්ෂරය අශෝක අක්ෂර
මාලාවේ සුලභව දක්නට ලැබෙන වක්රාකාර ස්වරූපය වෙනුවට කෝණාකාර ස්වරූපයක් ගන්නවා.
3.2
අශෝක බ්රාහ්මී අක්ෂර
අතර “ච” අක්ෂරය සිරස් රේඛාවක වම්පසට සම්බන්ධ කරන ලද අර්ධ වෘත්තයක් හෝ චතුරශ්රාකාර
හැඩයක් සහිතව නිරූපණය කරයි. නමුත් කෝණාකාර ස්වරූපයේ “ච” අක්ෂර හැඩය අවම වශයෙන්
භාවිත වී තියෙනවා. එහෙත් ලාංකේය ශිලා ලේඛනවල බහුල භාවිතය වනුයේ කෝණාකාර ස්වරූපයේ
“ච” අක්ෂරයයි.
3.3 ලම්භක රේඛාවක පහත කෙළවර
දකුණට වක්‍ර වී එහි මුදුනට මඳක් පහළින් කුඩා තිරස් රේඛාවක් දකුණු දෙසට යොදා ලියන
ලද “හ” අක්ෂරය අශෝකාක්ෂරවල බහුල භාවිතය වුණා. එමෙන්ම දකුණුපස ලම්බක රේඛාවේ මධ්‍යයට
එකතු කරන තිරස් රේඛාව වෙනුවට මුදුනට එකතු කරන ලද තිරස් රේඛාවක් සහිත “හ” අක්ෂරයක්
ද භාවිතයේ පැවතුණා.
ඒ ආකාරයට දුර්ලභ වශයෙන් භාවිත වූ ස්වරූපය ලංකාවේ “හ”අක්ෂරයේ
බහුල භාවිතය වුණා.
4.
ස්වාධීන අක්ෂර රූප භාවිතය
4.1 අශෝක ලිපිවල “ඉ” අක්ෂරය
ත්‍රිකෝණාකාර හැඩයට තබන ලද තිත් තුනක ස්වරූපය ගනියි. නමුත් ලංකාවේ බ්රාහ්මී
ලිපිවල එන අක්ෂරය ලම්භක රේඛාව දෙපස තිත් දෙකක් තැබීමෙන් සාදාගත් වෙනස්ම ආකාරයේ
අක්ෂර රූපයක් වෙනවා. මෙම ස්වරූපය දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයේ මධුරා, ත්‍රිචිනාපොලි, තින්නවේලි
යන ස්ථානවල ගුහා කිහිපයක එන “ඉ” අක්ෂරයට සමානකම් දක්වනවා.
අශෝකාක්ෂරවල භාවිත “ඉ” අක්ෂරය ලංකාවේ බ්රාහ්මීය ශිලා
ලේඛනයන්හි කිසිඳු තැනක හමු නොවේ.
4.2 වෘත්තයක් මත තබන ලද
අර්ධ වෘත්තයක ස්වරූපය ඇති “ම” අක්ෂරය බහුලව දකුණු ඉන්දීය බ්රාහ්මී ශිලා ලිපිවලින් හමුවෙනවා.
එම ස්වරූපයට ඉඳුරා වෙනස් වක්රාකාර හා කෝණාකාර ස්වරූපයක් ගත් “ම”අක්ෂරයක් ලංකාවේ බ්රාහ්මී
ශිලා ලිපිවල දක්නට ලැබෙයි.
“මුලින් පෙන්වා දී ඇති වක්රාකාර ස්වරූපයේ “ම” අක්ෂරය
සමකාලීන දකුණු ඉන්දියාවේ මධුරා, ත්‍රිචිනාපොලි, තින්නවේලි ගුහා ආශ්රිත ලිපිවලින්
හා ක්‍රි.ව.1,2 සියවස්වලට අයත් දකුණු ඉන්දියාවේ අරිකමේඩු නම් ස්ථානයෙන් හමු වූ
වළන් කැබලිවල සඳහන් අක්ෂරවලට ද සමානයි.”
(පඤ්ඤාසාර
හිමි 2007:07)
4.3 ලම්බාකාර රේඛාවක පහළ
කෙළවරෙහි වම්පසින් හා දකුණුපසින් අර්ධ කව දෙකක් යොදා ගැනීමෙන් සකස්කරගත් “ය” අක්ෂරයක් හා පහළ අර්ධ වෘත්තයක හරි මැදින් ලම්බාකාර
රේඛාවක් සම්බන්ධ කිරීමෙන් සාදාගත් “ය” අක්ෂරයක් ද අශෝක සෙල්ලිපිවලින් හමුවෙනවා.
ලම්බාකාර රේඛාවක පහළ කෙළවරට අර්ධ වෘත්තයක් එකිනෙක ස්පර්ශ
නොවන සේ යෙදීමෙන් සාදාගත් ස්වාධීන සංකේතයක් “ය” අක්ෂරය ලෙස ලාංකේය සෙල්ලිපිවල
හමුවිය.
4.4 අශෝකාක්ෂරවල “ශ”
සංකේතවත් කොට ඇත්තේ උඩු අතට හැරුණු ඊතලයක් බඳු ස්වරූපයකිනි.එහෙත් ලංකාවේ බ්රාහ්මී
ලිපිවල යෙදුණු “ශ” ඊට හාත්පසින්ම වෙනස් වෙනවා. එය යටිකුරු කරන ලද කෝණයක වම්පස
රේඛාවේ පහළ අතට කෙටි ඉරි කෑල්ලක් සම්බන්ධ කිරීමෙන් සකස් කර ගැනෙයි.
5. එකම අක්ෂරයේ විවිධ ස්වරූප භාවිතය
5.1 අශෝක බ්රාහ්මී අක්ෂර මාලාවේ “ග” අක්ෂරය කෝණාකාර සහ වක්රාකාර ස්වරූපයන්ගෙන් ලියවී තියෙනවා. ලංකාවේ සෙල්ලිපි අතරින්ද එම ස්වරූප දෙකටම සමාන “ග” අක්ෂරයන් හමුවෙයි.
5.1 අශෝක බ්රාහ්මී අක්ෂර මාලාවේ “ග” අක්ෂරය කෝණාකාර සහ වක්රාකාර ස්වරූපයන්ගෙන් ලියවී තියෙනවා. ලංකාවේ සෙල්ලිපි අතරින්ද එම ස්වරූප දෙකටම සමාන “ග” අක්ෂරයන් හමුවෙයි.
5.2 අශෝක බ්රාහ්මී අක්ෂර
අතර මෙන්ම ලංකාවේ බ්රාහ්මී අක්ෂර අතර ද “ඣ”අක්ෂරයෙහි කෝණාකාර සහ වක්රාකාර
ස්වරූප දෙකම දක්නට ලැබෙනවා.
5.3 අශෝක බ්රාහ්මී අක්ෂර
අතර කෝණාකාර සහ වක්රාකාර විවිධ ස්වරූපයේ
“ත” අක්ෂරයන් ද හමුවෙනවා.
ඒවාට සමාන විවිධ ස්වරූප මෙන් ම බ්රාහ්මී ශිලා ලිපිවල
දක්නට නොමැති ලම්බක රේඛාවට මැදින් දකුණුපසට විහිදී තිරස් රේඛාවක් නැවත පහළට
නැවීමෙන් සාදාගත් විශේෂ රූපයක් ද ලංකාවේ බ්රාහ්මීය ශිලා ලිපිවලින් හමුවෙයි.
5.4 “ද” අක්ෂරයෙහි ද
කෝණාකාර සහ වක්රාකාර ස්වරූප රැගත් විවිධ අක්ෂර රූප අශෝක සහ ලංකාවේ බ්රාහ්මීය
ශිලා ලේඛනවලින් හමුවෙයි.
5.5 අශෝක බ්රාහ්මීය අක්ෂර
මාලාවේ “ර” රැලි සහිත ලම්බක රේඛාවක ස්වරූපයෙන් බහුලව ද ලම්බාකාර ඍජු රේඛාවක
ස්වරූපය දුර්ලභව ද යෙදී ඇත. ලංකාවේ ශිලා ලේඛනවල බහුලව ඍජු රේඛාවක ස්වරූපයෙන්
නිරූපිත “ර” අක්ෂරය ද රැලි අවම වශයෙන් යෙදුණු “ර” අක්ෂර ස්වරූපය ද දැකගත හැකිවෙයි
.
5.6 “ල” අක්ෂරය ද කෝණාකාර
හා වක්රාකාර යන ස්වරූපයන්ගෙන් අශෝක බ්රාහ්මී අක්ෂර අතර මෙන්ම ලංකාවේ ශිලා
ලේඛනවල ද හමුවෙනවා.
6.අවම මහාප්‍රාණ අක්ෂර රූප භාවිතය
6.1 වමට නැමුණු කොක්කක පහළ
කෙළවරෙහි තිතක් හෝ වෘත්තයක් සහිත අක්ෂර රූප අශෝක බ්රාහ්මී සෙල්ලිපිවල “ඛ” ලෙස
යෙදේ. ඉතා දුර්ලභව යෙදුණු “ඛ” ලංකාවේ බ්රාහ්මී ලිපිවල වම්පසට නැමුණු රේඛාවෙහි
තිතක් සහිත රූපයට සමාන වෙනවා.
6.2 අශෝක බ්රාහ්මී
සෙල්ලිපිවල “ඤ” සංකේතය ලම්බාකාර රේඛාවක හරි මැදින් දකුණු පසට ඉරක් හා එය කෝණාකාර
ලෙස පහළට දික් වූ කෙටි රේඛාවක් සහිතව යෙදෙයි. එහි ලම්බාකාර රේඛාවෙහි මුදුනෙන්
වම්පසට කෙටි තිරස් රේඛාවක් ද යෙදී ඇත. මෙතෙක් ප්‍රකාශයට පත්ව ඇති ලංකාවේ බ්රාහ්මීය
ශිලා ලිපිවල අතිශයින්ම දුර්ලභ අක්ෂරයක් ලෙස “ඤ” හැඳින්වෙනවා.
6.3 අශෝක අක්ෂර මාලාවේ “ඪ”
අක්ෂරය දකුණුපසට විවෘත වූ අර්ධ වක්රාකාර රේඛාවක පහළ කෙළවරෙහි පුඩුවක් ද ඉහළ
කෙළවරෙහි සිරස් අතට කෙටි ඉරක් ද යෙදුණු රූපයක් දක්නට ලැබෙනවා. ලංකාවේ බ්රාහ්මී
ශිලා ලේඛනවල දුර්ලභව යෙදුණු “ඪ” අක්ෂරය යම් සාම්‍යයත්වයක් අශෝකාක්ෂරයට දක්වයි.
6.4 ලංකාවේ බ්රාහ්මී ලිපිවල
අතිශයින්ම දුර්ලභ “ඵ” අක්ෂරය අශෝක බ්රාහ්මී අක්ෂරයට සමානයි.ලම්බාකාර රේඛාවක පහළින්
දකුණට නැමුණු වක්‍රය අධික ලෙස වක්‍ර කිරීමෙන් මෙම අක්ෂරය සැකසෙනවා .
6.5 ලම්බක රේඛාවකට පහත
කෙළවරෙන් හා මධ්‍යයෙන් දකුණුපසට වක්‍ර රේඛා දෙකක් සම්බන්ධ කිරීමෙන් සකස් කරගත් “ෂ ”
අක්ෂරය අශෝකාක්ෂර හා සමාන වෙයි. ලංකාවේ බ්රාහ්මීය ශිලා ලිපිවල අතිශයින් ම දුර්ලභ
අක්ෂරයක් ලෙස මෙම අක්ෂරයත් වර්ග කෙරෙනවා .
(ASCAR
1952:42;Paranavitana 1970:717)
(JRASCB XXXII: 170;Paranavitana 1970:77)
ඉහත සඳහන් ආකාරයට එකිනෙක අක්ෂරයන්හි භාවිතයේ සුවිශේෂතා
වඩාත් පැහැදිලිව හඳුනා ගැනීමට හැකිවෙනවා. ඒ අනුව ලංකේය ශිලා ලේඛනවල බ්රාහ්මී අක්ෂර
භාවිතයේ සුවිශේෂ ම ලක්ෂණය ලෙස ඉ, ම, ය, ශ යන අක්ෂරයන්හි ස්වාධීන භාවිතය බව
පැහැදිලියි. නමුත් ඉන්දියාවේ ත්‍රිචිනාපොලි, මධුරා, තින්නවේලි ආශ්රිත පාණ්ඩ්‍ය
දේශයෙහි සමකාලීන ලෙන්ලිපිවල මෙම අක්ෂර සමාන ලක්ෂණවලින් යුක්තව භාවිත වෙලා තියෙනවා.
ප්රාග් මහින්ද යුගයේ දකුණු ඉන්දියාවත් සමඟ පැවැත් වූ සම්බන්ධතාවල ප්‍රතිඵලයක්
වශයෙන් එම අක්ෂර ලංකාවට ලැබුණු බව නිගමනය කරන්න පුළුවන්.
බ්රාහ්මී අක්ෂර කලාවේ විවිධ විෂමතාවන්ට බලපෑ හේතු
මොනවද කියල දැනගන්න එකත් වටිනවා.
Ø
ශිල්පියාගේ සාක්ෂරතාවයේ
පරිමාව
Ø ශිල්පීය කුසලතාවන්හි
පැවති විවිධතා
Ø විවිධ මූලාශ්‍රයන්හි
බලපෑම
Ø
ගුරුකුල හා පරම්පරාවල
ආවේණික ලක්ෂණ
Ø
හදිසි හා ක්ෂණික තීරණ මත
රචනා කිරීම
Ø ලේඛනගත වන මාධ්‍යයේ
පෘෂ්ඨීය ස්වභාවය
සමස්ත කරුණු අධ්‍යනයෙන්
පසුව සුවිශේෂී ධාරණාවන් තුනක් අනාවරණය කරගත හැකියි.
1.
මහින්දාගමනයට පූර්වයේ
පටන් ලක්දිව බ්රාහ්මීය අක්ෂර භාවිත වූ බව
2.
ලාංකේය බ්රාහ්මීය අක්ෂර
කලාව බිහිවීමේදී අශෝක අක්ෂරයන්හි සෙවන නිබඳව ලැබුණු බව
3.
අශෝක අක්ෂරයන්ගෙන්
වෙනස් වූ ලාංකේය බ්රාහ්මී අක්ෂරයන්ට ආවේණික සුවිශේෂී ලක්ෂණ
දැකිය හැකි බව
විදුහුරු
භාෂාවක් හා රූපාක්ෂර මාලාවක් නිර්මාණය කර ගැනීමට මානවයින්ට ඉතා දිගු කාලයක්
ගතවුණා.එය ඉබේ ප්රාදුර්භූත වන්නක් නොවන බව ඉහත අධ්‍යයනයෙන් මනාව ප්රත්යක්ෂ
වෙනවා. කාලයත් සමඟ සියලු දේශපාලනික,සමාජීය,ආර්ථික පරිසරයන්හි බලපෑමෙන් දියුණුවට
පත් වූ ලේඛන කලාවක් බිහිකර ගැනීමට හැකිවීමත් සමඟ ශිෂ්ටාචාරගත භාෂාවකට ක්‍රමයෙන්
අපි අනුගත වෙනවා. වඩාත් වැදගත් වන්නේ එහි
අක්මුල් විහිද ගිය පරිසරය පිළිබඳව ලබන නිවැරදි අවබෝධයයි. අශෝකාක්ෂරයන්ට නෑකම් කියන
ලාංකේය පුරාක්ෂරවේදයේ සහ අන්තර්ගතයේ පවත්නා වූ සුවිශේෂතා හඳුනා ගන්නා අතර පුරාවිද්‍යාත්මක
පර්යේෂණ මඟින් දැනට අනාවරණය කරගත් ශිලා ලේඛනයන්හි අක්ෂර කලාව පිළීබඳව නව
පර්යාවලෝකනයකින් බැලීමට මෙය අවස්ථාවක් කර ගනිමු.
මුලාශ්රයය:-
·
කරුණාරත්න ඩබ්ලිව්.එස්. (1956) “සිංහල ශිලා
ලේඛන”, කොළඹ 10, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ
·
පඤඤාසාර හිමි
ඔක්කම්පිටියේ (2007) “සිංහල අක්ෂර රූප
විකාසය හා භාරතීය ආභාසය”, කර්තෘ ප්‍රකාශන
·
ගයිගර් විල්හෙල්ම් (1969) “මධ්‍යකාලීන ලංකා සංස්කෘතිය”, (පරි:)ඇම්.බී.ආරියපාල, නුගේගොඩ, ඇම්.ඩි.
z ගුණසේන සහ සමාගම
z ගුණසේන සහ සමාගම
· විමලානන්ද තෙන්නකෝන් (1957) “පැරණි ලංකාව
හා ශිලාලිපි”, නුගේගොඩ, ඇම්.ඩි. ගුණසේන
සහ සමාගම
·
සෝමදේව රාජ්, වන්නිනායක
අනූෂා සහ දේවගේ දිනේෂ් (2014) “කුරගල ගවේෂණ වාර්තාව අදියර 1”, කොළඹ 7, පුරාවිද්‍යා
පශ්චාත් උපාධි ආයතනය
·
Burgess
Jad (1964) “Report on the Buddhist cave temples and their inscriptions”,Vol.iv,
Varanasi, Indological Book House
·
Paranavitana
Senarath (1943) “Epigraphia
Zeylanica”,Vol.iv, London, Oxford University press
·
Paranavithana
Senarath & Godakubura C.E. (1963) “Epigraphia Zeylanica”,Vol.v,
Colombo, The government press
කෙටි යෙදුම්
·
JRASCE- Journal of the
Royal Asiatic Society (Ceylon Branch)
·
ASCAR- Archaeological
Survey of Ceylon Annual Reports
Good work....
ReplyDeleteKeep it up...
Thanks Dir
Deleteall the best sister.....
ReplyDeleteThanks saho...
Delete
ReplyDeleteGood job, best of luck Maheshi..
Great work Maheshika..
ReplyDeleteGood Luck..!
Maheshika,Your blog is very interesting,good job and thanks for sharing such a good blog.
ReplyDeleteTknz ...My Friends!!!!
DeleteWatinawa me lipiya..👍👍
ReplyDelete🤗
ReplyDelete